Thursday, November 13, 2014

රට රකින්නට කප්පන් ඉල්ලීම

ලංකාව ලංකාව නොවේ යැයි හිතෙන තරමට භෞතික වෙනසකට මුලපුරා ඇති නමුත් එලබෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගන ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ප්‍රධානම ඉල්ලීම වන්නේ පැවතුනු යුද්ධය අවසන් කල විධායක ජනාධිපතිවරයාට නැවත ජනවරමක් දෙන ලෙසයි. තවද රටට බරපතල තර්ජනයක් වී ඇති එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව පරාජය කිරීමට වර්තමාන විධායක ජනාධිපතිවරයා අත්යාවශ්්‍ය බවද නැවත නැවතත් කියා සිටී. ප්‍රධාන වශයෙන් අධිරාජ්ය්්‍ය විරෝධී, දේශහිතයිශී, සටන් පාඨ නැවතත් පරණ තාලයෙන්ම කියනු ලබයි. විය යුත්ත අනාගත සංවර්ධන ඉලක්ක අරබයා තම සැලසුම්, ප්‍රතිපත්ති ඉදිරිපත් කර තම මතිවරණ මෙහෙයුම් ගෙනයාම වුවත් සිදුවෙන්නේ 2009 නන්දිකඩාල් කලපුවේ වලදමූ අවිගත් එල්.ටී.ටී.ඊ යත්, දැනටත් ජාත්්‍යනතරය හමුවේ කරුනු පහදාදී පරාජය කල හැකි ඩයස්පෝරාවත් වවාගන කමින් මැතිවරන ජයග්‍රහණයට අත්තිවාරම් සැකසීමයි.
රටක පැවැත්ම හා සංවර්ධනය යන කරුණු මූලික කරගත් කල ජාත්්‍යන්තර සහයෝගය යනු ඉතාමත් වැදගත් කරුණකි. ශිශ්ඨත්වයට පත්වූ සියලුම ජාතීහු එතැන් පටන් ජාත්්‍යන්තර සහයෝගය ආරක්ශා කරගැනීම හා වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් කටයුතු කර ඇත්තාහ. ලාංකීය රජවරුන් ඉන්දීය කුමාරිකාවන් සරණපාවාගැනීම මෙහි එක් පැතිකඩක් පෙන්නුම් කරන අතර, අසල්වැසි ඉන්දියාවේ අශෝක අධිරාජ්්‍යයා තම දුවණිය සහ පුතණුවන් ධර්මය ප්‍රචාරය සදහා ලොවපුරා යැවීම මෙහි තවත් පැතිකඩක් නිරූපණය කරයි. ජාතීන් අතර සහයෝගය ගිලිහුන කල්හි ගැ‍ටුම් ඇතිවීම අතිශය ස්වභාවිකය. වර්තමානයටත් තානාපති සේවය යනු ඕනෑම රටක ඇති ගෞරවනීය සේවයන්ගෙන් එකකි. රටේ පාලකයන් කොපමන දූශිත වුවද ඔවුන් කුමන විරෝදී ආකල්පයක් දරුවද තානාපතිවරයෙකුට විදේශයකදී ගෞරවනීය ලෙස සලකන්නේ එනිසාය. තානාපති සේවයේ යෙදෙන්නන්ට විදේශයකදී අති විශේශ වරප්‍රසාද සමූහයක් ලැබෙන්නේ එම නිසාය. විදේශ අමාත්්‍යවරයා, තානාපතිවරුන් හා කාර්යමණ්ඩලය ජාත්යන්තර සම්බන්ධතා තම රටේ උන්නතිය උදෙසා මෙහෙයවීම කෙරෙහි වගකිව යුත්තාහ.

යුද අවි ගත් ප්‍රභාකරන්ගේ කණ්ඩායම පරාජය කිරීමෙහිලා සියලුබලසම්පන්න විධායක ජනාධිපතිවරයා මහගු මෙහෙවරක් කල බව සත්්‍යකි. නමුත් සමස්ත ප්‍රතිඵලය කණ්ඩායම සාමුහික ප්‍රයත්නයක් විනා ඔහු තනිව ලබාගත් දිනුමක් නොවේ. සරත් ෆොන්සේකා දේශපාලන වශයෙන් දුර්වල පුද්ගලයෙක් බව සැබෑවකි. නමුත් දේශපාලනික වශයෙන් ඔහුට ඇති බය නිසාම පාලකයන් ඔහුගේ ජෙනරල් පට්ටම ගලවා ඇති නමුදු ඔහු ලෝකයෙ බිහිවූ විශිශ්ටතම හමුදාපතිවරුන්ගෙන් කෙනෙකුය යන සත්්‍ය බොරු කල නොහැකිය. ඔහු ඉතා දරදඩු පුද්ගලයෙක් වූ නමුදු ඔහුගේ දැනුම, අත්දැකීම් සමග ඒ ස්වභාවය එක්වූ කල්හි ඉතිහාසයේ බිහිවූ අති භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් එකක් පරාජය කල හැකි යුද නායකයෙක් බිහි විය.මහින්ද රාජපක්ශ දේශපාලන පසුබිම සැකසීමේ ගෞරවය අත්කරගන්නා අතර, ලක්ශ්මන් කදිරගාමර් නැමති විශිශ්ඨ රාජතාන්ත්‍රිකයා ජාත්යන්තර පසුබිම සකස්කරනා ලදී.

යුද්දය නිමවී වසර 5ක් ගෙවෙනා කල බාලසින්හම්ගේ හමුදාව වන දෙමල ඩයස්පෝරාව ශක්තිමත් වෙමින් පවතී. ආණ්ඩුවේ රූකඩයක් වී ඇති ජී.එල් පීරිස් අමාත්්‍යවරයාට හා දේශපාලන පත්වීම් වල රජදහනක් වී ඇති විදේශ සේවයටත් මෙය පරාජය කිරීමේ හරිහමන් සැලැස්මක් ඇති බවක් තවමත් පෙනෙන්නට නැත. යුරෝපා පාර්ලිමේන්තුව විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයනයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කල නමුදු ඊට එරෙහිව රට තුල නගනා තරමේ හඩක් මෙම දේශහිතයිශී ආණ්ඩුව ජාත්්‍යන්තරයේ නගුවේ නැත. ඔවුන් එය වන්නට ඉඩ දී අද ගොලු බිහිරන් සේ සිටියෝය. ස්ව කැමැත්තෙන් ඊට එරෙහි පදනමක් ගොඩනගන්නට ඉදිරිපත් වූ නීතීඥ සංගමයද ප්‍රතික්ශේප කලෝය. ආණ්ඩුව කියනා ආකාරයට ඩයස්පෝරාව පරාජය කිරීමට අව්ශ්්‍ය එකම සහ ප්‍රධානම සාධකය විධායකය නොවේ. එය කිසිසේත්ම අවශ්්‍ය නොවේ. ඒ සදහා ප්‍රායෝගික හා සැබෑ අව්ශ්්‍යතාවය වන තානාපති සේවය නොහැකියාවෙන් පීඩා විදී. දයාන් ජයතිලක, තමාරා තුන්තනායගම් වැනි දක්ශ මෙන්ම යුද සමයේ රටවෙනුවෙන් පෙනී සිටි තානාපතිවරු එලවා දමා කොටි සමග ගිවිසුම් ගහන ක්ශෙණුකා සෙනෙවිරත්න වැනි අය ඒ තැන් වලට පත් කර ඇත. පෙර කී තැනැත්තිය ගත් කල චන්ද්‍රිකා කුමාරතුන්ගගේ දරුවන් දෙදෙනා ගැන ඔත්තු බැලීම තම සේවා කාලයේ වැඩි කාලයක් තුල කිරීමෙන් සුදුසුකම් සැපරුවෙකි.

සත්්‍ය නම් පවතින ආණ්ඩුවට ඩයසෛපෝරාව පරාජය කිරීමේ සැබෑ වුවමනාවක් නැති බවයි.මන්දයත් එය විධායක ජනාපති නම් විසබීජයේ පැවැත්ම තීරණය කරන සාධකය බවට ආණ්ඩුව විසින් හරවාගන තිබෙන නිසාය. ඩයස්පෝරාව නැති දවසට විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවාය යන ඔවුන්ගේ ප්‍රකාශයෙන්ම එය ගම්්‍යය වේ. ඒ නිසා මේ පවුල් ආණ්ඩුවට එය විනාශ කිරීමේ අව්ශ්‍යතාවයක් නොපවතී. ආණ්ඩුව කුමක් කීවද ඇත්තනම් ජාත්‍යන්තරයේදී විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රයෝජනයක් නැත. මක්නිසාදයත් රාජ්‍ය නායකයා කුමන ස්වරූපයේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී හිමිකරගන්නේ සමාන බලයක් වන බැවිනි. ඔහුට රට ඇතුලත ඇති අසීමාන්තික බලය ඒ ආකාරයෙන්ම ජාත්‍යන්තරයේදී ක්‍රියාත්මක කල නොහැක. එමෙන්ම උපක්‍රමශීලී විදේශ අමාත්‍යවරයෙකුගේ හා සැබෑ දක්ශ කාර්යමණ්ඩලයක කාර්යභාරය විධායක ජනාධිපතිවරයෙක් වීමෙන්ම සපුරාගත නොහැක. නෙල්සන් මැන්ඩෙලා වර්ණබේදවාදය දකුණු අප්‍රිකාවෙන් තුරන් කර අවුරුදු 5න් ගෙදර ගියා සේ ගෙදර යන්නට අපේ පාලකයන් සූදානම් නැත. යුද ජයග්‍රහණය තමන්ගේම යැයි කියමින් එහි අනිත් පියවරුන්ව සිරගත කරන ඔවුන් ඩයස්පෝරාව නැමති බිල්ලා පවතින තුරු එයින් රට ආරක්ශා කිරීමට කප්පමක් ලෙස ජනපති ක්‍රමය ඉල්ලති. එලබෙන ජනාධිපතිවරණයේදී රටේ ජනතාව ගන්නා තීන්දුව ලංකාව යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටයද, කදුලු කැටයද යන්න තීරණය කරනු ඇත.


Wednesday, October 8, 2014

ජනාධිපතිවරණයේ හොදම තේරීම

ඌව ඡන්දය හැම පක්ශයකටම ජය අත් කරදී අවසන් විය. උදා වෙන්නේ ප්‍රධාන මැතිවරණ දෙකක් එන අවුරුදකි. යුද්ධය දිනූ, චෝගම් ගෙනා, කොලබ සුරපුරයක් කල වර්ථමාන ආණ්ඩුව විධායක ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ පුතු වන කලින් පැවති මතිවරණයෙන් ඔ‍ටුනු පලන් කුමරාව මහ ඇමති අපේක්ශකයා ලෙස ඉදිරිපත් කලද, ආණ්ඩුව විසින් හෝදාපාලුවට ලක්කරන ලද එක්සත් ජාතික පක්ශයේ අපේක්ශකයා කුමාරයා පරදා මනාප ගන්නා ලදී.

ඡන්දය දිනුවද ආණ්ඩුවට ලැබී ඇති පණිවිඩය වන්නේ යුධ ජයග්‍රහණය හා දේශප්‍රේමීත්වය තවදුරටත් මාකට් කල නොහැක යන්නයි. තවද මුදල් කදු ගණන් විසිකිරීම ඊලග ඡන්ද වලදී තීරණාත්මක සාධකය නොවන බවටත් පෙන්වා දී තිබේ. එසේ නොවන්නේ නම් අපේක්ශකයාගේ නම ගැසූ සිල් රෙදි පවා බෙදු, මහා නියගයක් අතරමැද සහනාධාර මලු ගනන් බෙදු මතිවරණයකින් ආණ්ඩුව මෙවන් පසුබැස්මක් ලබන්නේ නැත. මනාප වලින් පැරදුනේද එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. හරීන් පැරදුනා නම් එක්සත් ජාතික පක්ශයට අද ආණ්ඩුව් ලබා තිබෙන තරම් පසුබෑමක් වෙන්නේ නැත. මේ පසුබා ඇත්තේ ජාතික පාර්ලිමේන්තුවේ 2/3 ඇති ආණ්ඩුවයි.

එක්සත් ජාත්ක පක්ශය සංවිධානාත්මකව ඌව මැතිවරණයට මුහුණ දුන් නමුත් ආණ්ඩුව තරම් ප්‍රභල බලයක් යොදන්නට දුර්වල වී සිටි ඒ පක්ශයට හැකියාවක් තිබුනේ නැත. නමුත් ආකර්ශණීය තරුණ නායකත්වයක් තුලින් ඔවුන් ඉදිරියට ආවෝය. නමුත් එය එකම සාදකය නොවේ. කොට්ටාව සිට ගාල්ල පැය තුනක ලගකින් පැවතියත්, කොලබ සිට කොට්ටාවට යාමට තව පැය තුනක් ඕනෑ වේ. ජාතික පාසල් කොපමන තිබුනත් ලගම තිබෙන පාසලට යන්නට හැතම්ම ගනන් පයින් යන දරුවෝ අනන්ත්වත් වෙති. චීනෙන් ඇවිත් කොපමන විදුලිබල ව්්‍යාපෘති ඇරබුවත් විදුලිබලය නොමැති ජනකාය අපමන මෙන්ම, ඉහල ගොස් ඇති විදුලිබිල හේතුවෙන් විදුලිය පරිභෝජනය නොකරන්නෝද වෙති. සිහින මන්දිර කොලබ ඉදි වුනත් පාසල් යන්නට සපත්තු කුට්ටමක් තියා සෙරෙප්පු කුට්ටමක්වත් නොමැති දරුවෝ සුලභය. යුද්දය දිනුවද රණවිරුවෝ රජ පැටවුන්ට රේස් යන්නට වැලි කොට්ට අදිති. මහජනතාව දරාගන්නට බැරි බදු බරකින් පීඩා විදිති. විශ්යවිද්යාල සිසුන් දැඩි මර්දනයකට යටත් වී ඇත. ජාතික මාධ්ය ඩවස පුරාම පවුලේ නාලිකා ලෙස කටයුතු කරන අතර මර්දනය දරාගත් නොහී තම දිවි බේරාගැනීම සදහා මාඩ්යවේදියෝ සිය ගනනක් රට අතහැර ගොස් හමාරය. රට පුරාම ගුවන්තොටව්ල් ඉදිකරන අතරම ඒ ගුවන් තොටවල් වලින් අම්මලා දහස් ගණනක් වහල් සේවය සදහා රට පටවන්නටද හැකි ආර්තිකයක් ආණ්ඩුව විසින් ගොඩනගා ඇත.එකම අධිවේගී මාර්ගය ඡන්දයක් ලංවන ලංවන ගානේ කිහිප පොලකින් විවුර්ථ කෙරුවද, සාමාන්‍ය ජනයාට නිකමටවත් දැනී නැති සංවර්ධනයක් ගැන කෑගසා තවත් උගත්කමින් අඩු ජන කොට්ටාසයක්වත් ‍රැවටිය නොහැකි ලක්ෂයකට රට දැන් පැමිණ ඇත. උත්තම අධිකරණයේ ස්වාධීනත්වයට මහා බරපතල ලෙස හානි වී තිබේ. ලැජ්ජාව අමතක කොට, සියලුම සලුපිලි උනා දමා, විනිවිද භාවයක් නැති නිර්ලජ්ජිත ක්‍රියාවලියක් මගින්, අධිකරණ පද්ධතියේ උසස්ම තනතුර දැරූ තැනත්තිය ගෙදර යවා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ තේරුම නොදත් ආණ්ඩු පක්ශ මන්ත්‍රීවරියෝ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ පාර්ලිමෙන්තුවේ සිටිති.

මේ රටට ප්‍රගතිශීලී වෙනසක් අවශ්්‍ය මොහොතයි. අගාධයකට තල්ලු වෙමින් යන රට ගොඩගන්නට: උගත්, දැක්මක් ඇති, ඉවසීමෙන් කටයුතු කල හැකි, දේශපාලන අවභෝධයෙන් අගතැන්පත් යහපත් රාජතාන්ත්‍රික ආකල්ප වලින් යුත් නායකයෙක් අවශ්්‍යව තිබේ. රටේ නායකයා වන්නට සුදුසුකම හම්බන්තොට ඉස්කෝලවල ඇති පු‍ටු ගණන පාර්ලිමෙන්තුවේ ප්‍රශ්ණ කිරීම නොවේ.රටපුරා පන්සල්, පල්ලි වලට රුපියල් 50000 ගානේ බෙදීමෙන් රටේ නායකයා වීමට සුදුසුකම් සපිරිය නොහැක. රටේ නායකයා ජාතික ගැටලු ගැන මනා අවභෝධයකින් යුක්ත රටේ ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කරන්නෙක් විය යුතුය. රනිල්ට ඇති, සජිත්ට නැති, මහින්දට තුන්වෙනි වරටත් නොහැක්ක එයයි.

මහින්ද රාජපක්ශ යනු වර්ථමාන දේශපාලනයේ ජනප්‍රියම තරුවයි. ඔහු ජනතාවගේ හදවතට කතාකරන, දේශප්‍රේමී රුවකි. ඇදුමින් පැලදුමින් ගත්තද එතුමා දේශීයය. විජාතික බලවේග වලට රටට ඇතුලු වීමට නොදෙන බවට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නැගෙන විට සථඵ වෙයි. නමුත් ඔහුගේ ආණ්ඩුව තරගයට හොරකම්, මැරකම් කරති. එම චෝදනාම ඔහුගේ පවුලටත් එල්ල වි තිබේ. රටේ ජනතාව දුප්පත් වන වේගය දකින විට රටට ආර්තික ප්‍රතිපත්තියක් නැත්දැයි අසන්නට සිතේ. ආණ්ඩුවක වගකීම පුරවැසියාගේ සුබසෙත නමුදු පුරවැසියා හැරෙන්නට ආණ්ඩුව වටේ ඉන්න සැවොම සුභසෙත ලගා කරගෙන ඇති බව නම් පේන්නට ඇත. එක් පුද්ගලයෙක්ට දෙවරක් පමණක් දැරිය හැකියැයි කියු ජේ, ආර් ගේ විධායක ජනාධිපති ධූරය මෙතුමා සීමාවක් නැති වාර ගණනක් එම ධුරය දැරිය හැකි ලෙස ව්‍යවස්ථාව වෙනස් කරගත්තේය.

සජිත් ප්‍රේමදාස යනු මීලග ජනාධිපතිධුර අපේක්ශකයා විය යුතු යැයි බොහෝ දෙනෙක් ඉල්ලා සිටන, තමාගේ ප්‍රතිරූපයටත් වඩා හිටපු ජනාධිපතිවරයෙක් වන තම පියාගේ ප්‍රතිරූපය කෙරෙහි විශ්වාසය තබා ඇති දක්ශ, තරුණ නායකයෙකි. සජිත් තරුණ හා ආකර්ශනීය බව සැබවි. නමුත් රනිල් වික්‍රමසිංහ යන දේශපාලන නායකයාගේ දැනුම හමුවේ ඔහු පමණක් නොව ඔහුගේ හිටපු ජනාධිපති පියාද ලිලිපුට්ටන්ය. සජිත්ට දුර  දේශපාලන ගමනක් අති බව හැබෑය. නමුත් ඔහු තාමත් රනිල් දේශය පාලනය ගැන දන්නා තරම අහලකටවත් පැමින නැත.ඒ සදහා ඔහු රනිල් සමග තරග කරනවා වෙනුවට ඔහුගෙන් ඉගනීම ඇරබිය යුතුය.

රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන අනාථයෙක් නොවේ. ගැටලුව නම් ඔහුගේ රටාවට ලංකාවේ ජනයා අකමැති වීමයි. ලංකාවේ ජනයා ස්වභාවයෙන්ම දේශප්‍රෙමී ජාතික තාලයෙන් කියනා සෑම දෙයක්ම හිස් මුදුනින් පිලිගන්නට කැමතිය. එය තේරුම්ගත් බණ්ඩාරනායක සිංහල කතා කරන්න හරියට නොදත්තත් ජාතික ඇදුමට බැස්සේය. පසුව සිංහලත් උගත්තේය. ගෑරුප්පුවෙන් උවද කිරිබතුත් කෑවේය. තවද ලාංකිකයා යටිගිරියෙන් කෑගසන දේශපාලකයා ආකර්ශනීය රුවක් ලෙස දකින්නට පුරුදු වී තිබේ. රනිල්ගෙ අඩුපාඩු මේවාය. ඔහු දේශප්‍රේමියෙක් ලෙස රගන්නේ නැත. ඔහුගේ බොහෝ හැසිරීම් ජනප්‍රියවාදී හැඩයෙන් තොර ඒවාය. ඡන්දයක් ලග එන විට අපේ සමහරු රනිල්ට ලමයි නැති වීම, රනිල්ට වඩා ගාම්භීර කටහඩක් චන්ද්‍රිකාට හිමිවීම වැනි දේ ඔහු රටේ නායකයා වීමට නුසුදුසුකම් ලෙස මහා ඉහලින් කතා කරති. නමුත් අනිත් අයට නැති ඔහුට ඇති බුද්ධිමය ලක්ශන බොහොමයක් අමතක කරති. රනිල් යනු කොලබ නීති පීඨයේ උපාධිධරයෙකි. තවද ඔහුට ඉතා පැහැදිලි ආර්ථික දැනුමක් හා දැක්මක් ඇත. රට ගෙන යා යුතු මග ඔහු දනී. රනිල් හොරෙකි යැයි කියනවා මා කවදාවත් අසා නැත. මහින්දගේ කතා දේශමාමක වන නමුදු රනිල්ගෙ කතා හරබරය. එයින්ම වෙනස වැටහේ. ජාත්යන්තරය සමග යහපත් සම්බන්දතාවයක් පවත්වාගන යාමේ ඉව ඔහුට ඇත. එය මේ මොහොතේ රටේ ජාතික අවශ්යතාවයයි. මේ මොහොතේ රටේ නායකයා ලෙස ඔහුව තොරන්නේ නම් එය ඉතා බුද්ධිමත් තෙරීමකි. මන්දයත් ඔහු දැනුමින් සපිරි දැක්මක් ඇති සුපිරි ගණයේ රාජතාන්ත්‍රිකයෙක් වන නිසාය.

Tuesday, August 19, 2014

ජීවිතය සහ අපි!

මේ ලෝකේ ජීවත් වෙනකොට අපිව සතුටින් තියන අයවම, අපිට හොද කරන අයවම හොයගන ඒ අයත් එක්ක ඉන්න බෑ.

Monday, August 11, 2014

අද සිට ලියමි...

මට බ්ලොග් එකක් ලියන්න උවමනාවක් තිබුණට ලියන විදිහ දැනගෙන හිටියෙවත් ලියන්නයි කියල මහා වෙලාවක් තිබුණෙත් නැහැ. ඉතින් බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියුවම අපේ ලොකු අයියා මට බ්ලොග් එකක් හදල දුන්නා. අයියේ බොහොම පිං!!